ටයිටැනික් විපතින් බේරී ජීවතුන් අතර සිටි අන්තිමයා


ටයිටැනික් ගිලීමට පෙර
ටයිටැනික් කියූ පමණින් ලොව නොදන්නා කෙනෙක් නැති තරම්. බ්‍රිතාන්‍යයට අයත් සුඛෝපභෝගී මගී නෞකාවක් වූ ටයිටැනික් ගිලී ගොස් දැනට වසර සීයක්. ටයිටැනික් සිය මංගල ගමන පිටත්වූයේ 1912 අප්‍රේල් මස 10 වැනිදා බ්‍රිතාන්‍යයේ නෝවා ස්කෝටියා වෙරළ තීරයෙනුයි. ඇමෙරිකාවේ නිව්යෝර්ක් බලා ගිය ඒ ගමන නිමවූයේ නිව්ෆවුන්ඩ්ලන්තයට ඔබ්බෙන් වූ මුහුදේ වූ අයිස් පරයක ගැටීමත් සමඟයි. ඒ අපේ‍්‍රල් මස 14 වැනිදායි. කිසිදා නොගිලෙතැයි සිතූ ටයිටැනික් නෞකාවේ මේ මහා ඛේදවාචකය තවමත් කවුරුත් සිහිකරන්නේ කම්පාවෙන් යුතුවයි.
ටයිටැනික් විපත ගැන පළවූ පුවත්පත් වාර්තා

මඟීන් දෙදහස් පන්සීයකට ආසන්න ගණනක් අතරින් ඛේදවාචකයෙන් පසු බේරා ගත හැකි වූයේ 710ක් පමණයි. නැවේ ජීවිතාරක්ෂක බෝට්ටු මඟින් ඔවුන් බේරාගනු ලැබුවා. අප්‍රේල් 14 වැනිදා මධ්‍යම රාත්‍රියට පෙර නැව ගිලී ගියේ අනතුරට පත්වී පැය දෙකකට පසුවයි. නැවේ සිටි මඟීන් සහ සේවකයන් 1500ක් පමණ මේ ඛේදවාචකයෙන් මිය ගියා. ඒ සංඛ්‍යාව නැවේ ගමන් කළ අය අතරින් තුනෙන් දෙකක්.
ටයිටැනික් ඛේදවාචකයෙන් දිවි බේරාගත් අය ගැන වරින් වර මුළු ලෝකය පුරාම තොරතුරු වාර්තා වුණා. ඇමෙරිකානු සුප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදක ජේම්ස් කැමරන් අතින් සිනමාවට නැඟුණ ‘ටයිටැනික්’ චිත්‍රපටයේ කතාවට ඛේදවාචකයෙන් දිවි ගලවාගත් ‘රෝස්’ නමැත්තියක ගේ කතාවක් පාදක වූවා. එහෙත් මේ රෝස් ටයිටැනික් හි සැබෑවටම ගමන් කර දිවි ගලවාගත් තැනැත්තියක ද යන්න අපැහැදිලියි. ඒ ගැන ප්‍රේක්ෂකයන් අතර තවමත් ඇත්තේ කුකුසක්.
විපතට පත්වූවන් මුහුද මැද
(විපතින් වසර 99කට පසු හමු වූ සේයාරුවක්)

මේ මහා සාගර ඛේදවාචකය සිදුවී වසර 100ක් සපිරීම නිමිත්තෙන් එංගලන්තයේ සහ ඇමෙරිකාවේ අනුස්මරණ උත්සව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අප්‍රේල් 10 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් වරායෙන් ටයිටැනික් අනුස්මරණ නෞකාවක් දියත් කරන්නට ද කටයුතු යොදා තිබුණා. ටයිටැනික් නෞකාවේ අඩංගුව තිබූ සියලු අංගෝපාංග සංකේතාත්මකව එම නෞකාවට ද යෙදෙන බවයි වාර්තා වුණේ.
ටයිටැනික් විපත සිදුවෙද්දී සාගරයේ සිදුවන අනතුරු ගැන ජාත්‍යන්තර සම්මත හා නීතිරීති එතරම් ක්‍රියාත්මකව තිබුණේ නැහැ. ඛේදවාචකයෙන් වසර 100ක් සපිරෙද්දී යුනෙස්කෝව බිඳී ගිය ටයිටැනික් නැව සංස්කෘතික උරුමයක් ලෙස ආරක්ෂා කිරීමටත් එහි සිටියදී ගිලී මියගිය අය ගෞරවාන්විතව සැලකීමටත් නව සම්මතයක් ගෙන එනු ලැබුවා.
ඛේදවාචකය සිදු වී වසර 99ක් ගතවෙද්දී පසුගිය වසරේ ටයිටැනික් හා සම්බන්ධ සේයාරූ රැසක් ප්‍රසිද්ධියට පත්වුණා. ඒ සේයාරූ ගනු ලැබ තිබ්බේ නැවේ සිට දිවි ගලවාගත් ජෝන් ස්නයිඩර් නමැත්තායි.
ඔහු සිය මනාලිය සමඟ මධුසමය ගතකිරීම සඳහා ටයිටැනික් මංගල සවාරියට එක්ව සිටියා. විපත සිදුවූ දින පළමු පන්තියේ මගීන් ලෙස සිය නිදන කාමරයේ සිටි ස්නයිඩර් යුවළ පළමුවෙන්ම බේරාගත් පිරිස අතර සිටියා. ජීවිතාරක්ෂක බෝට්ටුවලට පටවනු ලැබූ ඔවුන් බේරාගැනීමට පැමිණි ‘කාපේතියන්’ නැවට ගොඩවූ පසු ජෝන් එහි සිට ගත් සේයාරූ සහ ලියූ ලිපියි මෙලෙස පසුගිය වසරේ ප්‍රසිද්ධියට පත්වූයේ.
ගිලුණු ටයිටැනික් නැව් බඳ

ජෝන් ‘කාපේතියන්’ නැවේ සිට සිය පියාට ලියූ ලිපිවල නැව ගිලීයන බව දැනුම් දුන් මොහොතේ සිට වූ සිදුවීම් ලියා තිබුණා.
”මං බේරුණේ මගේ ආදර බිරිය නිසයි. අනතුරු ඇඟවීම් ගණන් නොගෙන නිදාගැනීමට සැරසෙද්දී ඇය මා අවදිකර ඇඳුම් ඇඳගැනීමට සලසා ඉන්පසු ලද උපදෙස් අනුව ක්‍රියාකිරීමට පෙලඹවූවා. මුලින්ම ජීවිතාරක්ෂක බෝට්ටුවලට ගොඩවූ අය අතර අපද වූවා.”
ටයිටැනික් අනතුර සිදුවූ විගස පළවූ පුවත් පත් වාර්තාවක දැක්වුණේ, නැව ගිලීයෑමට පෙර නැව් තට්ටුවේ සිටි අයෙක් මනාලියන් හා මනාලයන් පළමුව බෝට්ටුවලට පටවන්න යැයි කෑගැසූ බවයි. ස්නයිඩර් යුවළගේ දිවි බේරී ඇත්තේ ඒ නිසා බවත් පැවසුණා.
ජෝන් විසින් ගනු ලැබූ කළු සුදු සේයාරූ අතර ජීවිතාරක්ෂක බෝට්ටු මහමුහුද මැද මගීන් පුරවාගෙන ගමන් කරන අන්දම රැගත් සේයාරූ ද වූවා. ඔහුගේ ඇතැම් සේයාරූවල පසුබිමින් දැක්වුණේ මගීන් ගලවා ගැනීමට පැමිණි SS කැලිෆෝර්නියා’ නෞකාවයි. මේ නැව ටයිටැනික් අනතුරට පත්වූ විගස අහසට නිකුත් කළ අනතුරු සංඥා රොකට් නොසලකා හැර තිබූ බවද වාර්තා වුණා. මේ සියලු සේයාරූ හා ලිපි ස්නයිඩර් පවුලේ කෞතුක භාණ්ඩ අතර තිබී පසුගිය වසරේ එළියට පැමිණ තිබුණේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවිය සඳහායි.
ස්නයිඩර් යුවළ දිවි ගලවා ගත් දා ඇඳ සිටි ඇඳුමින් යුතුව.

ටයිටැනික් ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් අය අතරින් මිල්විනා ඩීන් ප්‍රසිද්ධ වූයේ ඒ අතර සිටි ළාබාලම තැනැත්තිය ලෙසයි. එවකට ඇගේ වයස මාස 9කි. විපතින් දිවි ගලවාගත් අය අතර සිටි අන්තිමයා වූ ඇය වයස අවුරුදු 97 දී මියගියා. ඒ 2009 වසරේදීයි.
නැව ගිලෙද්දී කවුරුන් හෝ ඇය කැන්වස් මල්ලක බහා ජීවිතාරක්ෂක බෝට්ටුවකට දමා තිබුණා. මිල්විනාගේ මව ගියෝගෙටා සහ දෙහැවිරිදි සොහොයුරාගේ ද දිවි බේරුණත් ඔවුන්ගේ පියාගේ දිවි රැකුණේ නැහැ.
එතරම් අතමිට සරු නැති ඩීන් පවුල ටයිටැනික් හි තෙවැනි පන්තියේ ගමන් කරමින් සිටියා. නැව විපතට පත්වෙද්දී මුලින්ම බේරාගනු ලැබුවේ පළමු හා දෙවැනි පන්තියේ මගීනුයි. වෙනකක් තබා අනෙක් අයට කරදරයකින් තොරව ජීවිතාරක්ෂක බෝට්ටු කරා යෑමට පහසුවන සේ තෙවැනි පන්තියේ මඟීන් කාමරවල තබා දොර අගුළු දමා තිබු බවත් පැවසෙනවා.
මිල්විනා ඩීන් සිය අවසන් කාලය එන තුරුම දශක ගණනාවක් තිස්සේ ටයිටැනික් ඛේදවාචකය ගැන කා සමඟවත් කතාකර තිබුණේ නැහැ.
”එය සිදුවෙද්දී මා අතදරුවකුව සිටි නිසා ඒ ගැන කතා කිරීම සුදුසු නැතැයි මා සිතුවා. ඒ ගැන මගේ කිසිම මතකයක් නැහැ” කතා නොකිරීමට හේතුව වශයෙන් ඇය සඳහන් කරන්නේ එයයි.
1985 සැප්තැම්බර් 01 වැනිදා ප්‍රංශ හා ඇමෙරිකානු කණ්ඩායමක් විසින් නැවේ සුන්බුන් සොයා ගනු ලැබුවා. ඒ ටයිටැනික් ගිලුණා යැයි වරදවා තේරුම් ගෙන සිටි නිව්ෆවුන්ඩ්ලන්තයේ සිටි සැතපුම් 370ක් නැඟෙනහිරින් සැතපුම් දෙකකටත් වඩා ගැඹරු මුහුදේදීයි.
මිල්විනා

මේ සුන්බුන් සොයා ගැනීමත් සමඟ මිල්විනා ද සිය නිහඬතාව බිඳ දැමුවා. එහෙත් ඇය ඒ සියල්ල පැවසුවේ ඇගේ මව ඇය හා පැවසූ දේ අනුවයි.
”නැව අනතුරට පත්වූ දා ඔවුන්ට මහා විශාල ශබ්දයක් ඇසුණු බව අම්මා කිව්වා. එවිට මගේ පියා ඒ ගැන සොයා බැලීමට නැව් තට්ටුවට ගියාලු. ඊට පස්සේ පහළට ඇවිත්,
’ඉක්මනට ළමයි නැව් තට්ටුවට ගෙනියන්න. නැව අයිස් පර්වතයක හැපිලා යැයි කෑගැහුවාලු’ මිල්විනා පැවසුවා.
නැව් තට්ටුවේදී මවත් දියණියත් – පියාත් පුතාත් එකිනෙකාගෙන් වෙන් වූ බව මව පැවසූ බවත් මිල්විනා කිව්වා. ඉන්පසු පැය ගණනකට පසු ඔවුන් බේරාගැනීමට පැමිණි කාපේතියා නැවට ගොඩකරවා ගෙන තිබිණ. එතැනින් ඩීන් පවුලේ මවත් දරුවනුත් නිව්යෝර්ක් කරා රැගෙන යනු ලැබුවා.
මිල්විනා සිය දිවියේ වසර 20ක් තුළ ඇමෙරිකාවේ, කැනඩාවේ සහ යුරෝපා රටවල් රැසක ද සංචාරය කරමින් ටයිටැනික් ගිලී යෑම හා අදාළ දෑ සාකච්ඡා කළා. අවසාන කාලයේ ඇය ජීවත්වුණේ ටයිටැනික් දියත් වූ වරාය පිහිටි සවුතැම්ප්ටන් නගරයේ පිහිටි නෝවාසිකාගාරයකයි. මිල්විනා පසුව සිය ටයිටැනික් සමරු විකුණා දැමුවේ අතමිට හිඟකම නිසයි. ඇගේ දිවි ගැලවූ කැන්වස් මල්ල ඉන් එකකි. එය ඇගේ මව සතු වූවකි.

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals