ආදරයේ මිහිර ගැන පස්සේ කියන්නම්


ලෝචනා ඉමාෂි


අද “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට එක්වන්නේ යොවුන් නිළියක මෙන්ම නිවේදිකාවක ද වන ලෝචනා ඉමාෂි. මේ වන විට ඇය පේ‍්‍රක්ෂකයින් අතර වඩාත්ම ජනපි‍්‍රයව ඇත්තේ රූපවාහිනී නිවේදිකාවක ලෙසය. එහෙත් මේ වන විට ඇය රංගනයෙන් දායක වී ඇති සිනමා, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය නිර්මාණ කීපයෙන්ම ඇය දක්ෂ රංගන ශිල්පිනියක බව ද මනාව ඔප්පු කොට ඇත.
ලෝචනා මොනවද ඔබ මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්න කලා කටයුතු?
සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කරන ප්‍රභාත් රෝෂන් නිෂ්පාදනය කරන “ආයෙමත් ආදරෙන්” ටෙලි නාට්‍යයේ වැඩවලට මේ දවස්වල මම සම්බන්ධ වෙලා ඉන්නව. එහි පියුමිගේ චරිතය නිරූපණය කරන්නෙ මම. මම හරිම ආශාවෙන් තමයි ඒ ටෙලි නාට්‍යයේ වැඩවලට සම්බන්ධ වුණේ. තවත් වැදගත් දෙයක් තියෙනවා කියන්න, මගේ පළමු චිත්‍රපටය වන ‘අභිනික්මන’ චිත්‍රපටය ළඟදීම තිරගත වෙනවා.
ඔව්, අභිනික්මන චිත්‍රපටය පිළිබඳව කතා කරමු...

අභිනික්මන හෙක්ටර් කුමාරසිරිගේ අධ්‍යක්ෂණයක්. එහි ප්‍රධාන නිළි චරිතය වන සීදේවිගේ චරිතය රඟපාන්නෙ මම. සී දේවිගේ පෙම්වතා ඇයට වඩා වයසින් වැඩි කෙනෙක්. ඔහුගෙන් විවිධ ගැටලු සී දේවිට ඇති වෙනවා. පන්සලේ වැඩ වසන ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව පැහැදීමක් ඇතිවෙලා ඒ ස්වාමින් වහන්සේට සමීප වෙන්න උත්සහ කරනව.


තමන්ගේ පෙම්වතාගෙන් සිදුවන හිරිහැර ගැටලු පවා ස්වාමින් වහන්සේට සී දේවි කියනව. සී දේවි ඒ ස්වාමින් වහන්සේට සමීප වීමට ගන්නා උත්සාහය අවසානයේ බිඳ වැටෙනවා. මේක හරිම ලස්සන චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන නිළි චරිතය රඟපාන්න මට ලැබුණු අවස්ථාව මගේ ජීවිතයේ ලැබුණු වැදගත් අවස්ථාවක්.
ඔබ මීට කලින් දායක වුණු ටෙලි නාට්‍ය මොනවා ද?
‘කාව්‍යා’, ‘අපි අපි වගේ’, ‘සඳ සඳ වගේ’ වැනි ටෙලි නාට්‍ය කීපයකටම මම දායක වෙලා තියෙනවා.
රංගනයට එන්න පෙර ඔබ නිවේදිකාවක් නේද?
ඇත්තෙන්ම ඔව්. සිරස නාළිකාවෙ ‘දිගන්තය’ සංගීතමය වැඩසටහන සතියේ දින පහේම ඉදිරිපත් කළේ මම. සෑහෙන කාලයක් මම ඒ වැඩසටහන කළා. පේ‍්‍රක්ෂකයින් අතරට මම ගියේ දිගන්තය හරහා. ඒක මට අමතක කරන්න බැහැ. ඒත් ව්‍යාපාරික පැත්තට යොමුවෙන්න අදහස් කළ නිසා ඒ වැඩසටහනෙන් මම ඉවත් වුණා.
ඒ කියන්නෙ ඔබ නිවේදන කටයුතුවලින් ඉවත්වුණා කියන එක ද?
නැහැ. නිවේදන කටයුතුවලින් ඉවත් වෙන්න මට බැහැ. මගෙ ආරම්භය එතැන. පුංචි කාලෙ ඉඳලම මම නිවේදිකාවක් ලෙස කටයුතු කළ කෙනෙක්. ඒ සඳහා මාව යොමු කළේ මගේ දෙමාපියන්. අදත් ඒ අය කියන්නෙ රඟපානවට වඩා නිවේදන කටයුතු කරන්න කියලයි. නිවේදනය, වැඩසටහන් ඉදිරිපත් කිරීම ලොකු කැපවීමකින් කළ යුතුයි. වෙනත් දේවල්වල යෙදෙමින් ඒක කරන්න අපහසුයි. පූර්ණ කාලීනව නොයෙදුණාට මම තවමත් නිවේදන කටයුතු කරනවා.
ඔබ වඩාත්ම කැමැති නිවේදනයට ද රඟපෑමට ද?
නිවේදිකාවක් කියන චරිතයට මම හරිම කැමැතියි. ඒ චරිතයට හොඳ පෞරුෂයක් තියෙනව. රඟපෑම ගැන කියනවානම් රඟපාන්න, රඟපාන්න ඒ පිළිබඳව ආශාවක් කැමැත්තක් ඇති වෙනව. එයින් මිදෙන්න අමාරුයි. මම නම් රඟපෑම, නිවේදනය කියන ක්ෂේත්‍ර දෙකටම කැමැතියි.
ඔබ කුඩා කාලයේ පටන් කලා කටයුතුවලට යොමු වෙලා සිටිය ද?
මම පාසල් ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. පුංචි කාලෙම මම පාසල් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා සිටියා. පාසලේ හය වසරේ ඉගෙන ගන්න විට තමයි මම ස්වර්ණවාහිනි නාළිකාවට ළමා නිවේදිකාවක් ලෙස සම්බන්ධ වුණේ. ඒ කාලෙ දයාරත්න රටගෙදර මහත්තයාගෙ ඒකාංගික ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙන්න මට ඉඩ ලැබුණා. ඒ මගේ තාත්ත නිසා. සාමාන්‍ය පෙළ විභාගයේ සිට උසස් පෙළ විභාගය අවසන් වන තෙක්ම මම කලා කටයුතුවලින් ඉවත් වෙලයි හිටියෙ. උසස් පෙළ විභාගය අවසන් වුණාට පසුවයි මම සිරස නාළිකාවට සම්බන්ධ වුණේ. ඉන් පසුවයි මම කාව්‍යා ටෙලි නාට්‍යයේ රංගනයට එක්වුණේ.
ඔබ නිරත වෙලා ඉන්න වෙනත් කලා ක්ෂේත්‍රයන්?
පුංචි කාලෙ ඉඳලම නර්තනයට මම කැමැතියි. ඒ වගේම තරමක් දක්ෂයි. කලඑළි මංගල්‍යයක් මම කරල තියෙනව. ඒ වගේම උඩරට භරත කියන නාට්‍ය සම්ප්‍රදායන් මම හදාරල තියෙනව. ගීත ගායනයටත් මම කැමැතියි. ඒත් ඒකට කොතරම් දක්ෂ ද කියන්න මම දන්නෙ නෑ.
ඔබ රංගනයට එන්න සිහින මැව්ව ද?
නැහැ රංගනයට ඒම අහම්බයක්. මම රඟපාන්නෙ මගෙ තාත්ත මාව දිරිපත් කළ නිසා. යොමු කළ නිසා.
ඔබේ පවුලේ තොරතුරු?
අම්මයි තාත්තයි ආච්චියි අක්කයි නංගියි මමයි තමයි අපේ පවුලේ ඉන්නෙ.
ඔබේ පවුලේ අය ඔබ රඟපානවට කැමැති ද?
තාත්ත හැර අනෙක් අය මම රඟපානවට වැඩි කැමැත්තක් නෑ. මගෙ තාත්ත රංගනයට ඉතා කැමැත්තෙන් සිටි කෙනෙක්. මගෙ අම්ම කැමති වෙලා නෑ තාත්ත රඟපානවට. ඉතින් මම රඟපානවට අම්ම අකැමැති වීම අරුමයක් නෙමෙයිනෙ.
රංගන ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට ලංකාව තුළ තිබෙන තැන පිළිබඳව ඔබට මොනවද හිතෙන්නෙ?
රඟපාන්න හැමෝටම බැහැ. දක්ෂතාව වාසනාව දෙකම ඒකට තියෙන්න ඕන. ඒ වගේම රංගනය කියන්නෙ ගෞරවනීය වෘත්තියක්. නමුත් ලංකාව තුළ රංගන ශිල්පීන් ශිල්පිනියන් පිළිබඳව තිබෙන ඇතැම් මතයන්ට මම කැමැති නෑ. නළුවෙක් නිළියක් කිව්වම බලන්නෙ වෙනස්ම ඇහැකින්. ඒ වගේම ජනපි‍්‍රය නළු නිළියන් සම්බන්ධ කරගෙන, බොරු කටකතා පතුරුවනවා.
ඒ කටකතා ගොඩක් දේවල් බොරු. මොකද මං දන්නව මාත් එක්ක වැඩ කරන අය පිළිබඳව. එක දවසක් හරි ටෙලි නාට්‍යයකට පෙනී සිටි කෙනෙකුගෙන් වරදක් වුණොත් ඒක මාධ්‍යවල පළ වෙන්නෙ ‘ජනපි‍්‍රය නිළියක්’ කියන විශේෂණ නාමයත් එක්ක. මේ වගේ දේවල් නිසා රංගනය කියන වෘත්තියට විශාල හානියක් වෙලා තියෙනව කියල මම හිතනව.
ලංකාවේ වෘත්තිය වශයෙන් රංගනයේ යෙදෙන්න පුළුවන් කියල ඔබ හිතනව ද?
වෘත්තීය රංගන ශිල්පීන් එදත් හිටිය, අදත් ඉන්නව. ඒක වාසනාව සහ කැපවීම මත සිදුවන දෙයක්. අද කිසියම් රඟපෑමකට අපි මිලක් කිව්වොත් ඊට වැඩිය අඩු ගාණකට ඒ චරිතය කරන්න ඉදිරිපත් වන අය අද ඕනතරම් ඉන්නව. ඒ නිසා වෘත්තීය වශයෙන් ලංකාව තුළ රංගනයේ යෙදෙන්න අපහසු බවයි මගේ හැඟීම.
මොකක්ද ඔබේ ව්‍යාපාරය...?
ලක් එන්ටර්ප්‍රයිසස් තමයි මගේ ව්‍යාපාරයේ නම. මේක ළඟදි පටන්ගත්තෙ. අපි කරන්නෙ ත්‍රීවීලර්වලට කැබ් සර්විස්වලට අවශ්‍ය මීටර් නිෂ්පාදනය කිරීම. මේකට සම්බන්ධ වෙලා ඉන්නෙ අපේම කට්ටියක්.
ඔබ අනාගතයේ වැඩි කාලයක් යොදවන්නෙ නිවේදනයට ද, කලාවට ද, ව්‍යාපාරයට ද?
ව්‍යාපාරයට වැඩි කාලයක් යොදවන්න වෙලා තියෙනවා. නමුත් මම කලාව, නිවේදනය කවදාවත් අතහරින්නෙ නෑ. කලාවේ යෙදීමෙන් ලැබෙන සතුට වෙනත් දෙයකින් ලැබෙන්නෙ නෑ.
ඔබ වේදිකා නාට්‍යවලටත් සම්බන්ධයි නේද?
ඔව් වේදිකා නාට්‍ය කීපයකටම මම රංගනයෙන් දායක වෙලා තියෙනව. රංජිත් ද අල්විස්ගේ ‘සිල්ගත් කොක්කු’, ආර්. ආර්. සමරකෝන් ගේ ‘දූවිලි’, රවින්ද්‍ර විජේරත්න ගේ ‘මම මම සහ මම’ කියන වේදිකා නාට්‍ය ඒ අතුරින් විශේෂයි. වේදිකාව හරිම සජීවී මාධ්‍යයක්නෙ. ඒ සඳහා හොඳ පුහුණුවක් තියෙන්න ඕන. වේදිකාවේ රංගනය හරිම තෘප්තිමත්.
ආදරයේ පේ‍්‍රමයේ මිහිරත් මේ වන විට ඔබ විඳිනව ඇති?
ඔව්. ඒ ගැන පසුව කියන්නම්කො.

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals