මාධවන්ගේ ලෙඩේ ආයෙ වැඩිවෙලා


‘ත්‍රී ඉඩියට්ස්’ චිත්‍රපටයේ රැන්චෝ ලෙස රඟපෑ අමීර් ඛාන්ගේ මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙකු තමයි, ෆර්හාන්. මේ චරිතය නිරූපණය කළේ ආර්. මාධවන්. ‘ත්‍රී ඉඩියට්ස්’ චිත්‍රපටය රූපගත කළ එක්තරා අවස්ථාවකදී මාධවන්ගේ දණහිසක් ආබාධයකට ලක්වුණා. ඔහු ඒ මොහොතේ එය ගණනකට ගත්තේ නැහැ. මෙය සිදුවුණේ චිත්‍රපටය රූපගත කිරීම් ආරම්භ කළ 2009 අගභාගයේදීයි. නැවතත් දණහිසේ ආබාධයක් මතුවේවියැයි මාධවන් සිතුවේ නැහැ.

නමුත්, ඔහුගේ මතකයෙන් බැහැරව තිබුණු ඒ ආබාධය ගිය අවුරුද්දේදී මතුවුණා. ඒ මොහොතේදී වෛද්‍ය උපදෙස් අනුව දණහිසට සැත්කමක් සිදු කරන්නට මාධවන්ට සිදුවුණා. නමුත් මීට දෙසතියකට පමණ උඩදී නැවතත් ඒ ආබාධය ඇතිවෙලා. ඒ, දෙමළ චිත්‍රපටයක් වන ‘වෙට්ටායි’ රූපගත කිරීමකදීයි. මෙවර නම් දණහිසේ ආබාධය තරමක් දුරදිග ගොස් ඇති බව මාධවන්ට තේරුණා. ඒ නිසා ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න තීරණය කළා. ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරුන් පැවසුවේ මාස 6 ක පමණ කාලයක් යන තුරු රඟපෑමේ වැඩ කටයුතුවලින් ඈත් වී සිටින ලෙසයි.


ඒ අනුව ඔහු ඇමරිකාවේ චිකාගෝ නගරයේ රෝහලකට ඇතුළු වී භෞත චිකිත්සක ප්‍රතිකාර ලබමින් පසුවෙනවා. මාධවන්ගේ හිතවතෙකු පැවසුවේ ඔහුගේ දණහිසෙහි ආබාධය ගිය මාසයේදී වැඩිවී තදින්ම වේදනා ගෙන දුන් බවයි. මේ ගැන මාධවන් කිසිවක් ප්‍රකාශ නොකළත් තම ට්විටර් පිටුවෙහි සටහනක් තබන්නට අමතක කළේ නැහැ.
”මගේ වෛද්‍යවරුන්ට කන් දෙන්න ඕනෙ. ඒ නිසයි භෞතචිකිත්සාව වෙනුවෙන් නිවාඩුවක් ගත්තේ. අසනීපය ඉක්මනින් ම සුව වේවි. අන්තිමට එන්න වුණේ චිකාගෝ වලටයි. මාස කීපයක් ම මෙහේ නවතින්න වේවි. හිතට දැනෙන්නෙ අමුත්තක්. මේ භෞත චිකිත්සාව තරමක් අමාරුයි. නමුත් මම ඒකට ලෑස්ති වෙලයි ඉන්නෙ.” මාධවන් ඇමරිකාවේ සිට එලෙස ට්විට් කර තිබුණා.

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals