පුංචි දෝණි ආරධ්‍යා ඩුබායි යයි


ඓශ්චර්යවත් කුමරියක ලෙස කවුරුත් හැඳින්වූ ඓශ්චර්යා රායි දැන් අම්මා කෙනෙක්. සිවුමස් බිළිඳියක වන ආරධ්‍යා ගේ අම්මා ඇයයි. මේ සුරතල් දියණිය උපන්දා සිට මාස හතරකට කිට්ටු කාලයක් යනතුරු ඓශ්චර්යා නිවසින් පිටතට ගියේ නැහැ. සිනමා රංගනයෙන් ද ඈත් වී සිටි ඇය, උත්සව, සාද හෝ වෙනත් විශේෂ අවස්ථාවන්ට එක්වීමෙන් වැළකී සිටියා. ඇය ඒ හැම කටයුත්තකින්ම ඉවත් වී සිටියේ පුංචි දියණිය ගැන සොයා බැලීම හැම දෙයකටම වඩා වැදගත් නිසයි.

මාර්තු 27 වැනිදා නම් ඇය නිවසින් පිටතට ගිය බවයි බොහෝ දෙනා පවසන්නේ. ඓශ්චර්යා තම සැමියා අභිෂේක් සමග නිවෙසින් බැහැරට ගියේ සාදයකට සහභාගි වෙන්නයි. මේ සාදය සංවිධානය කර තිබුණේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මුකේෂ් අම්බානි යි. ඒ වෙන කිසිම කාරණයකටවත් නොවෙයි. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සිය ක්‍රිකට් ජීවිතයේ ශතක සියයක් ලබා ගැනීම නිමිත්තෙන්.


මේ සාදයට ඇය අභිෂේක් සමග සහභාගි වී සිටියේ කිසිවෙකුට හෝ ඒ ගැන කියන්නේ නැතිවයි. ඉන්පසුව ඇය නිල වශයෙන් උත්සවයකට සහභාගි වුණා. ඒ, පසුගියදා පැවැත්වුණු ‘ලෝරීල් පැරිස් ෆෙමිනා කාන්තා සම්මාන උලෙළ සඳහායි. මේ සම්මාන උලෙළේදී ‘අගය කළ හැකි කාන්තා ප්‍රතිරූපය’ නම් වූ සම්මානය ඓශ්චර්යාට හිමි වුණා. එහිදී තවත් විශේෂ දෙයක් සිදුවුණා. ඒ, තම මැණීයන්ට ඓශ්චර්යා අතින් ම විශේෂ සම්මානයක් පිරිනැමීමයි.
මේ අවස්ථාවලට එක්වූ ඓශ්චර්යා පසුගිය සතියේ ලැහැස්ති වුණේ ඩුබායි හිදී පැවැත්වෙන ලෝක කුසලාන තුරඟ තරග මාලව නරඹන්නට යන්නයි. ඇය සමග අභිෂේක් භච්චන්ද සහභාගී වන බවයි පැවසුණේ. මේ දෙදෙනාත් සමග තවත් කෙනෙකු සහභාගි වෙනවාලු. ඒ වෙනින් කවුරුන්වත් නොවෙයි. අභි-ඓශ් යුවළගේ කුලුඳුල් දියණිය ආරධ්‍යායි. ආරධ්‍යාගේ පළමු විදේශ ගමන මෙය වන්නට ඉඩ තිබෙනවා.
මාර්තු 31 දා ඇරඹුණු මේ තුරඟ තරග මාලාවට ඓශ්චර්යා සහභාගි වන්නේ ඒ සඳහා ඇයට විශේෂ ඇරයුමක් ලැබී ඇති නිසයි. දියණියත් මේ විදේශ සංචාරයට එක්වන්නේදැයි මාධ්‍යවේදියෙකු භච්චන් පවුලේ හිතවතෙකුගෙන් විමසුවා. ඔහු පැවසුවේ ඓශ්චර්යා සහ අභිෂේක් මේ තරගාවලිය නැරඹීම සඳහා ඩුබායි බලා පිටත්වීමට අවශ්‍ය ලියකියවිලි සකස් කරමින් සිටින බවයි. මුම්බායි හි ආගමන විගමන කාර්යාලය සඳහන් කළේ අභිෂේක් සහ ඓශ්චර්යා විසින් ආරධ්‍යා දියණියට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇති බවයි.
එහෙම නම්, ඔබ මේ ලිපිය කියවද්දී පුංචි ආරධ්‍යා, අම්මාත් තාත්තාත් සමග ඩුබායි හි මේඩාන් නගරයේ පිහිටි මේඩාන් තුරඟ තරග පිටියේ තරග නරඹමින් සිටීවි.

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals